Monday, October 29, 2012

Biso ulpen ge (Queens bath)



























රාජකීය උල්පැන්ගේ
රජුගේ පැන් සැනහීම සඳහා වෙනම උල්පැන් ගෙයක් මාලිගාව සහ මඟුල් මඩුව අතර පිහිටා තිබුණ ද අද එය විනාශ වී ඇත. මෙම උල්පැන් ගෙයටම යාබදව හලු මණ්ඩපය (රජු ඇඳුම් අඳින කාමරය) සහ සැතපෙන ගේ (රජුගේ් සයනාගාරය) ද පිහිටා තිබුණ බව පුරාණ මහනුවර සිතියම බලන විට පැහැදිලි වේ. උල්පැන් ගේ් බාරව කටයුතු කිරීමට මහදියවඩන නිලමේ නම් ධූරයක් ද විය.

රජු නෑවීමත් ස්නානයෙන් පසු රජුගේ හිස පීරා සැරසීමත් ඔහුගේ රාජකාරිය විය. ඔහු විසින් රජුගේ අනුමැතිය ද ඇතිව ශට්ටම්බිවරු දහදෙනෙක් සහ පණිවුඩකාරයෝ දහ දෙනෙක් ද පත්කරන ලදහ.

මේ ශට්ටම්බිවරු නම් උල්පැන් ගෙට සම්බන්ධව සිටි පවුල් 500කින් යුත් ජනතාවගේ උප ප්‍රධානිවරු වෙති. මොවුහු හැම විටම නගරයේ නැවතී සිටිය යුතු වූහ. ශට්ටම්බිවරු දෙදෙනෙක් නිතරම මාලිගයේ සේවය සඳහා මාරුවෙන් මාරුවට රැඳී සිටියහ.



බිසෝ උල්පැන් ගේ
මෙය මහනුවරට පැමිණෙන කාටත් අමතක නොවන ගොඩනැඟිල්ලකි. මහනුවර වැව හෙවත් කිරිමුහුදේ දළදා මැදුර ඉදිරිපිට ඉවුරේ පිහිටි සුදු පැහැති ගොඩනැඟිල්ල උල්පැන් ගෙයයි. මෙය උඩරට අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසෝවරුන් ස්නානය සඳහා යොදාගත් බව ජන විශ්වාසයයි.

වැවේ කොටසකුත් ඉවුරත් හසුවන සේ 1806 දී මෙම නාන ගෙය ඉදිකළ බව පැවසේ. දෙමහල් ගොඩනැඟිල්ලක් වූ උල්පැන්ගේ තුන් පැත්තක් ජලයෙන් වටවී තිබේ. උඩුමහල දැව සොල්දර තට්ටුවකි. පහත ඇත්තේ වැව් දිය පිරි තටාකයයි.

එය වටේට ආරක්ෂිත සේ කළුගලින් බැම්මක් බැඳ ඇත. ඉහළ මාලය ඇඳුම් මාරු කර ගැනීමට යොදාගෙන තිබේ. මෙහි පාදම තුන් පැත්තකින් ජලතලයේ රැඳී ඇති නිසා ගොඩනැඟිල්ලේ බර දරාගැනීමට සුදුසු ලෙස ඉදිකර ඇත.

උල්පැන්ගේ නිර්මාණය කර ඇත්තේ පත්තිරිප්පුව සහ මඟුල් මඩුව ඉදිකළ දේවේන්ද්‍ර මූලාචාරියා බව පැවසේ.

මෙහි පියස්ස ද මඟුල් මඩුවේ පියස්සට සමාන ය. මාලිගාවට සම්බන්ධ ගිහි නිලධාරීන්ගේ ප්‍රධානියා වූ දියවඩන නිලමේ උල්පැන් ගෙයි ද ප්‍රධානියා විය.

1815 දී ඉංග්‍රීසීහු උඩරට යටත් කරගත් පසු මඟුල් මඩුව, පත්තිරිප්පුව - රජ මාලිගය වැනි ඓතිහාසික ගොඩනැඟිලි ගිනි තබා විනාශ කළහ. ඒ අතරට උල්පැන්ගේ ද අයත් විය. ගිනි තැබීම නිසා දැව කොටස් සම්පූර්ණයෙන් විනාශ වී ගියේය.